Wednesday, December 7, 2011

නුඹයි..


දිනෙන් දින අඳුර වෙත පිය මනින ලෝකයක
මෙසසරට බැඳ තබන එකම මිනිසා නුඹයි..
විටින් විට ඉරිතැලුන දුකින් පිරි ජිවිතය
ලඟින් හිඳ සුවපත් කරන ජීවක නුඹයි..
මටද නොපෙනෙන ලොවක් නුඹෙ නෙතින් බලාගෙන
අඳුර මැද අතින් ගෙන කැටුව යන්නා නුඹයි..
දිවිය අති තුරුම මට එක ලෙසින් සැනසෙන්න
සෙනෙහසේ සොඳුරුතම දැහැමි පුදසුන නුඹයි..

Monday, October 31, 2011

මල් සුලඟට මුසු වුනාද?



කවඩි දිලෙන සුදු වැල්ලෙන්
සුමුදු සිසිල් කඳුකරයට
හෝරා කිහිපයක් ගෙවා
යන්නට හැකි කොයි දෙසින්ද?

හැම මල් වල සුවඳ පිරුණු
සුලඟ ඔබට දැනුනෙ නැතිද
වෛරය පිරි ඔබේ සුසුම්
මල් සුලඟට මුසු වුනාද?

එකම කෝඩ් පේළියකට
තරහ ගන්න මිනිස්සුන්ට
මම් කවි ලියනවා නොවෙයි
සිනා බෙදනවා පමණයි

අණ වින පර දේස වලින්
මගෙ ලක් මව රැක ගන්නට
අති අපෙ මෙත් සිත අසලට
අණුවන සිත් එපා ගන්න
මෙත් සිත් සවියෙන් බැඳෙන්න!!!

Thursday, October 13, 2011

මෙත් සිත ඇසුරේ හසරැල් සුපතමි


නුඹමෙන් නොසිතන මිනිසුන් අතරින්
කාට හැඟේවිද මනුසත් පබැඳුම්
මව් පිය සොහොයුරු දරු වෙන බැව් අප
නොමදත් උන් සේ දැක මිරිඟුව සැප
මිනිසුනි මොහොතක් නතර වෙයන්නේ
කරුණා දිව ඔසු නැතිද ලබන්නේ
කඳුලක් වැටුනේ ඇයි දැයි නොකියමි
මෙත් සිත ඇසුරේ හසරැල් සුපතමි

Thursday, September 1, 2011

මව් බිමේ සුව හැඟුණු මොහොතක, අප ගැනත් සිහි වුනාවේ...



දේශයේ නුඹ පියාඹා යන - මල් පිපී හිනැහුණාවේ
අප පැතුම් පොදි නුඹේ පෙරමග - වාසනාවන් ගෙනාවේ
රන් රුවන් සිතුසේ ලැබී නුඹෙ - රුවන් ගුණ බැබලුනාවේ
මව් බිමේ සුව හැඟුණු මොහොතක - අප ගැනත් සිහි වුනාවේ

Sunday, August 21, 2011

වස්සානේ පමාවෙයන්...


වස්සානේ පමාවෙයන්...
කප්පරක් වැඩ අතරෙ
අපුරුවට පීදුනු ගොයම
කපා ගෙට ගන්න කලියෙන්
නුඹ විතරයි අඩුපාඩුවකට තිබුනෙ
නුඹත් ආවද ඉතින්..
වෙනදටත් කලියෙන්
තව සති දෙක තුනක් ඉවසන්...
නුඹටත් වහින්නට ඔනෑ තරම්
මටත් හිත පිරෙන්නට
වැහි දියෙන් ඉතිරෙන වැවක් තරම්..

Wednesday, July 27, 2011

සඳක් වෙන්වී යාද...














සඳක් වෙන්වී යාද
ලබැඳි හද නිලඹරෙන්
තරු පහන් නොනිවේය
සඳ කැළුම් ලතාවෙන්
හද පතුම් නොබැඳේද
සොයුරු සඳ නාමයෙන්
හැඟුම්බර පන්හිඳක
සැමරුම් තබන්නම්...

Thursday, July 14, 2011

ලස්සන හීනය




සේද සුදෝ සුදු සළුවෙන් විසිතුරු
රෑ අහසේ දම් පාටින් වැඩ දැමු
මොණර පිළක් ගෙන පැහැයෙන් සැරසූ
ලස්සන හීනය යලි නොපෙනෙවා...
යනෙන තුරා සන්සාරේ..

ඉර හඳ නැති ලොව එළිය කරන්නට
දෑසක නලියන කඳුලු පිසින්නට
මගෙ සුබ හීනය ඔබට දකින්නට
හැම අද දවසම ලස්සන වෙවා...
නිමවෙවා සන්සාරේ..

Wednesday, July 13, 2011

නොකළ අරයුම...

සසර මගේ පුරුදු ලෙසට යලිඳු හද       බැඳී
බිනර මහේ මිහිරි දිනක අසිරි සර         විඳී
සුසර ඔබේ අසිරි පවන් නිබඳ හද          රැඳී
මිහිර ගෙනේ දසුන ඔබේ සොඳුරු දින    සැදී

Friday, June 17, 2011

හද බැඳි දා



සඳ කැන් දිවිතෙක් අහසට හිමිවුන
කතරක නොසැලී කෙම්බිම හමු වුන
දිනයක් ඔබෙ දෑසින් සරසන්නට
නුඹේ පන්හිඳෙන් ලියා තබන්නට
අපට වාසනාවන් හිමිවුයේ
තුති මල් අපමණ සතුටයි මිතුරේ

Tuesday, April 5, 2011

කොවුලිඳු නිහඬයි




නුඹ නිහඬවූ බක් මහේ
සැමරුම් නිහඬ දිවයිනේ
කොවුලිඳු ද නිහඬව ගියේ
ඒ සොවින් මේ වසන්තේ

ඒ කම්පනය උවමනා
මේ දෙරණටයි අදදිනේ
මන්මුලාවු උන් ලොවින්
උන් නිසාවෙන් අහිමි වූ
ඒ උතුම් මිනිසා නුඹයි
ගීතය ලෙසින් අවදිවි
හදවත් පහන් කර නිවූ

Monday, April 4, 2011

සන්සාර මිතුදම්



සසරෙ එකමග යනවිට
සෙවනෙල්ලක් මෙන් ලඟ හිඳ
ඉන්නැති නුඹ හැම බවයෙම
සොයුරිය වී දුක් සිඳලන
හසරැලි වී හද පොපියන

අළුවි ගිනිගත් කතරෙක
එකවර පමණක් හමුවෙන
කෙම්බිම ෙස් නුඹෙ මිතුදම
සදා වාසනා සොයුරිය
මතු උපදින හැම භවයෙම